වියට්නාමයේ සංචාරයක නිරතව සිටි 19 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන ඕර්ලා වේට්ස් (Orla Wates) රිය අනතුරකට ලක්ව මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය උතුරු වියට්නාමයේ ජනප්‍රිය සංචාරක මාර්ගයක් වන ‘හා ගියෑන්ග් ලූප්’ (Ha Giang Loop) ප්‍රදේශයේ මෝටර් සයිකලයක පිටුපස ගමන් කරමින් සිටියදී ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පසු ඇයව හැනොයි නුවර වියට් ඩක් මිත්‍රත්ව රෝහලට (Viet Duc Friendship Hospital) ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 02 වනදා ඇය අවසන් හුස්ම හෙළා තිබේ. එම අවස්ථාවේ ඇයගේ දෙමාපියන් ද ඇය අසල සිට ඇත. ඕර්ලාගේ මව ප්‍රකාශ කර ඇත්තේ තම දියණියගේ අවයව පරිත්‍යාග කිරීමට පවුලේ අය තීරණය කළ බවයි.
ඩර්හැම් විශ්වවිද්‍යාලයේ (Durham University) උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙර ඇය මෙලෙස අග්නිදිග ආසියාවේ සංචාරයක නිරතව සිට ඇත. බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය ද මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර ඇයගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරමින් සිටියි. ඇය ඉතා ස්වාධීන සහ හාස්‍යජනක ගතිපැවතුම් සහිත තරුණියක වූ බව ඇයගේ මව ආදරයෙන් සිහිපත් කර තිබේ.














