ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරන ලද 2025 TAGS සම්මාන උළෙලේදී, විදුලි සංදේශ අංශයේ රන් සම්මානය අඛණ්ඩව දිනා ගැනීමට SLT-MOBITEL සමත්ව තිබේ. 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව වෙනුවෙන් මෙම ඇගයීම හිමිවූ අතර, එමඟින් ආයතනික පාලනය, විනිවිදභාවය සහ තිරසාරත්වය කෙරෙහි සමාගම දක්වන සුවිශේෂී කැපවීම යළිත් වරක් තහවුරු වී ඇත. විශේෂයෙන්ම තිරසාර උපාය මාර්ග තම ව්‍යාපාරික ක්‍රියාවලිය සමඟ මනා ලෙස ඒකාබද්ධ කිරීමට SLT-MOBITEL දක්වා ඇති හැකියාව මෙහිදී ඇගයීමට ලක්විය.
මෙවර පැවැත්වුණේ TAGS සම්මාන ඉතිහාසයේ 60 වැනි සංවත්සරය වන අතර, එය “Diamond Chapter: The Grand Honour of Excellence” යන තේමාව යටතේ අති උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ. විනිවිදභාවය, වගකීම, පාලනය සහ තිරසාරත්වය (TAGS) යන ක්ෂේත්‍රයන්හි ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යන ආයතන ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, මෙම ජයග්‍රහණය SLT-MOBITEL ආයතනය කෙරෙහි පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් තබා ඇති විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වේ.
මෙම සම්මානය හරහා SLT-MOBITEL ආයතනය ඩිජිටල් අනාගතයක් වෙනුවෙන් සිදුකරන මෙහෙවර මෙන්ම, විනිවිදභාවයෙන් යුත් තොරතුරු සැපයීම සහ ආයතනික වාර්තාකරණයේ පවතින උසස් ප්‍රමිතිය ද ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක්ව ඇත. ආයතනයක් ලෙස ඩිජිටල් නවෝත්පාදනයන් වැළඳ ගනිමින් විශ්වාසනීය පදනමක් මත මෙරට සන්නිවේදන ක්ෂේත්‍රය මෙහෙයවීමට තමන් සතු හැකියාව මෙම ජයග්‍රහණයෙන් මනාව පිළිබිඹු වන බව සමාගම පෙන්වා දෙයි.














