අභාවප්‍රාප්ත ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි ඇප්ස්ටයින් (Jeffrey Epstein) සමඟ තමන් සම්බන්ධ කරමින් පැතිර යන චෝදනා අසත්‍ය බවත්, තමන් එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් අමෙරිකානු ජනපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් ඊයේ (09) ප්‍රකාශ කළාය. ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ ඇප්ස්ටයින් සමඟ තමන් සම්බන්ධ කරන අසත්‍ය ප්‍රචාර වහාම නතර විය යුතු බවයි.
මෙම ප්‍රකාශය සිදු කිරීමට හේතුව ඇය පැහැදිලි නොකළද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ජනාධිපති ධුර කාලය තුළද මෙම පැරණි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ කතාබහ මතුවෙමින් පවතී. ජෙෆ්රි ඇප්ස්ටයින් 2019 වසරේදී බන්ධනාගාරය තුළ මියගිය අතර, මීට පෙර නිව්යෝර්ක් සමාජ උත්සවවලදී ට්‍රම්ප් යුවළ සහ ඇප්ස්ටයින් සිටින ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි. තමන්ට එරෙහිව මෙවැනි අසත්‍ය පතුරුවන පිරිස් ආචාරධාර්මික ප්‍රමිතීන්ගෙන් තොර අය බවත්, කිසිදු පදනමක් නොමැතිව තමන් වෙත එල්ල කරන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනපති ආර්යාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.














