ලොව සුපිරි බොක්සිං ක්‍රීඩක ටයිසන් ෆියුරි (Tyson Fury) පස්වන වරටත් සිය විශ්‍රාම දිවිය අවසන් කරමින් යළිත් බොක්සිං වළල්ලට පිවිසීමට සූදානම් වෙයි. 37 හැවිරිදි වියේ පසුවන ෆියුරි එළඹෙන සෙනසුරාදා ලන්ඩන් නුවර ටොටන්හැම් හොට්ස්පර් ක්‍රීඩාංගණයේදී රුසියානු ජාතික අර්ස්ලන්බෙක් මක්මුඩොව් (Arslanbek Makhmudov) සමඟින් මෙලෙස තරග වැදීමට නියමිතය. 2024 දෙසැම්බර් මාසයේදී ඔලෙක්සැන්ඩර් උසික් හමුවේ අඛණ්ඩව දෙවතාවක් පරාජයට පත්වීමෙන් පසු ෆියුරි ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ ද, ඔහු යළිත් පැමිණීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙම තරගය සඳහා ෆියුරි තෝරාගෙන ඇති ප්‍රතිවාදියා වන මක්මුඩොව් පිළිබඳව බොක්සිං විචාරකයන් විවිධ අදහස් පළ කරයි. මක්මුඩොව් මෙතෙක් සහභාගී වූ තරග 21කින් 19ක්ම ‘නොක් අවුට්’ (Knockout) ජයග්‍රහණ වාර්තා කර ඇති ප්‍රබල ක්‍රීඩකයෙකු වුවද, ෆියුරි සතු අත්දැකීම් සහ ක්‍රීඩා උපක්‍රම හමුවේ රුසියානු ක්‍රීඩකයාට අභියෝගයක් එල්ල වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත්, දිගු කලක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීම සහ වයසත් සමඟ ෆියුරිගේ දක්ෂතාවල යම් පසුබෑමක් සිදුව ඇත්ද යන්න මෙම තරගය හරහා තීරණය වනු ඇත.
බොක්සිං විශ්ලේෂක ස්ටීව් බන්ස් පවසන්නේ මක්මුඩොව් වැනි ප්‍රබල පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙකු හමුවීම ෆියුරිට යම් අවදානමක් ගෙන දිය හැකි බවයි. නමුත් ෆැබියෝ වෝඩ්ලි සහ නටාෂා ජෝනාස් වැනි ක්‍රීඩකයන් පෙන්වා දෙන්නේ ෆියුරිගේ ක්‍රීඩා විලාසය අනුව මක්මුඩොව් හසුරුවා ගැනීම ඔහුට එතරම් අපහසු නොවන බවයි. වසර 2008 සිට වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ නිරත වන ටයිසන් ෆියුරි සතු සුවිශේෂී ‘බොක්සිං මොළය’ (Boxing Brain) මෙම තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රධාන සාධකයක් වනු ඇතැයි විචාරකයෝ විශ්වාසය පළ කරති.














