ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූරු දිස්ත්‍රික්කයේදී, කථන සහ ශ්‍රවණාබාධිත 32 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේම මිතුරන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 12 වැනිදා සිට අතුරුදහන්ව සිටි “ස්වාමි” නැමති මෙම පුද්ගලයාගේ මළසිරුර මාස කිහිපයක විමර්ශනයකින් පසු පසුගිය බදාදා වනාන්තර ප්‍රදේශයක තිබී සොයාගෙන ඇත. මෙම නඩුවේ ඇති සුවිශේෂීත්වය වන්නේ වින්දිතයා මෙන්ම මෙයට සම්බන්ධ සියලුම සැකකරුවන් ද විශේෂ අවශ්‍යතා සහිත (කථන සහ ශ්‍රවණාබාධිත) පුද්ගලයන් වීමයි.
පොලිස් විමර්ශනවලට අනුව, සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 37 හැවිරිදි ශ්‍රීනිවාස්, වින්දිත ස්වාමිගේ බිරිඳ කෙරෙහි ඇති කරගත් අනිසි කැමැත්තක් හේතුවෙන් මෙම ඝාතනය සැලසුම් කර තිබේ. සැකකරුවන් විසින් ස්වාමිව මත්පැන් පානය කිරීම සඳහා යැයි පවසමින් අම්මාතූර් ගම්මානය අසල වනාන්තරයකට රැගෙන ගොස් එහිදී ඔහුව ඝාතනය කර ඇති බව හෙළි වී ඇත.
මයිසූරු පොලිස් අධිකාරී මල්ලිකාර්ජුන් බාලදණ්ඩි මහතා සඳහන් කළේ, සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා සංඥා භාෂා විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට සිදු වූ බවයි. මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ තෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ. මියගිය ස්වාමි සහ ඔහුගේ බිරිඳ විවාහ වී වසර හතරක් වන අතර ඔවුන්ට තුන් හැවිරිදි දියණියක ද සිටී.














