‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නිවාස හා දේපල හානි සිදු වූ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ පවුල් 781ක් සඳහා වන්දි ප්‍රදානය කිරීම අද (අප්‍රේල් 10) සිදු විය. කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙම කඩිනම් වන්දි ගෙවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
ස්වභාවික ආපදා තත්ත්වයෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක (රු. 500,000) හානිපූර්ණ වන්දියක් පිරිනැමීමට රජය පියවර ගෙන ඇත. මෙම මුදල ප්‍රතිලාභීන් වෙත ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ තුනක් සහ ලක්ෂ දෙකක් වශයෙන් අදියර දෙකක් යටතේය.
මෙහිදී අදහස් දැක්වූ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා සඳහන් කළේ, මේ වන විට කොලොන්නාව ප්‍රදේශයේ පවුල් 3060කගේ නිවාස වෙනුවෙන් අර්ධ හා පූර්ණ වන්දි ගෙවීම් අවසන් කර ඇති බවයි. ආපදාවට පත් ජනතාවගේ ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මෙම සහන සලසා දී තිබේ.
මෙම වන්දි ප්‍රදානය හරහා ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි පීඩාවට පත් වූ කොලොන්නාව ජනතාවට සිය නිවාස කටයුතු යළි ආරම්භ කිරීමට විශාල සහනයක් හිමි වනු ඇත.














