විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුවකට විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත් වීම හේතුවෙන් ලුෆ්තන්සා ගුවන් සේවයේ නියමුවන් එළඹෙන සඳුදා (අප්‍රේල් 13) සිට දින දෙකක වැඩ වර්ජනයක නිරත වන බව VC (Vereinigung Cockpit) වෘත්තීය සමිතිය අද (11) නිවේදනය කළේය. ලුෆ්තන්සා, ලුෆ්තන්සා කාගෝ (Lufthansa Cargo) සහ ලුෆ්තන්සා සිටිලයින් (Lufthansa CityLine) යන අංශවල නියමුවන් අප්‍රේල් 13 මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 14 මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනයට එක්වනු ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම කලාපයේ ගුවන් ගමන් මෙම වර්ජනයෙන් නිදහස් කර ඇති බව වෘත්තීය සමිතිය පවසයි. මීට අමතරව, ලුෆ්තන්සා සමාගමට අයත් යුරෝවින්ග්ස් (Eurowings) ගුවන් සේවයේ නියමුවන් ද අප්‍රේල් 13 වනදා දවස පුරා වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය. මෙම වර්ජනය හේතුවෙන් ජර්මනියේ සහ යුරෝපයේ ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වීමේ අවදානමක් පවතී.














