ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ඇමරිකානු යුද නැව් දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බව වාර්තා වේ. එක්සත් ජනපදය විසින් එම මුහුදු මාර්ගයේ පවතින බාධක ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ඇමරිකානු නාවික හමුදාව මේ වන විට සමුද්‍ර සන්ධිය පුරා අතුරා ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටී. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම සඳහා ටෙහෙරාන් බලධාරීන්ගේ කිසිදු අවසරයක් හෝ සම්බන්ධීකරණයක් ලබාගෙන නොමැති බව ඇක්සියෝස් (Axios) පුවත් සේවය සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ ඉදිරි පැය කිහිපය තුළ කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් විය හැකි බව විචාරකයෝ පවසති.














