බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් විසින් චාගෝස් දූපත්වල අයිතිය මොරිෂස් රාජ්‍යයට පැවරීම සඳහා වූ මතභේදාත්මක ගිවිසුම අත්හිටුවීමට තීරණය කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුම “සම්පූර්ණ දුර්වලකමක්” ලෙස හඳුන්වමින් ඊට දැඩි විරෝධය පළ කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන නිල අනුමැතිය ඇමරිකාවෙන් මෙතෙක් බ්‍රිතාන්‍යයට ලැබී නොමැති බව ද වාර්තා වේ.
චාගෝස් දූපත් සමූහයේ විශාලතම දූපත වන ඩියාගෝ ගාර්ෂියා (Diego Garcia) හි පිහිටි ඒකාබද්ධ ඇමරිකා-බ්‍රිතාන්‍ය යුද කඳවුරේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවය බව බ්‍රිතාන්‍ය බලධාරීන් පවසති. මෙම ගිවිසුම සම්පූර්ණයෙන්ම අත්හැර නොදැමුවද, ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධ නීති සම්මත කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් එය තාවකාලිකව අත්හිටුවා ඇත. විපක්ෂ නායක කෙමී බේඩනොක් ඇතුළු පිරිස් මෙම තීරණය පැසසුමට ලක් කරමින් කියා සිටියේ බ්‍රිතාන්‍යයට අයත් භූමියක් වෙනත් රටකට පැවරීම වැරදි තීරණයක් බවයි.













