අයර්ලන්තයේ දින කිහිපයක් පුරා පැවැති දැඩි විරෝධතා මධ්‍යයේ අවහිර වී තිබූ කෝක් ප්‍රාන්තයේ (County Cork) වයිට්ගේට් (Whitegate) තෙල් පිරිපහදුව වෙත පිවිසීමට ඉන්ධන ටැංකි රථවලට යළි අවස්ථාව ලැබී තිබේ. අද (11) දින එරට පොලිසිය (Gardaí) සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුව, පිවිසුම් දොරටු අවහිර කරමින් නවතා තිබූ ට්‍රැක්ටර් රථ ඉවත් කර පිරිපහදුවේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට සමත් විය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ඇති වූ ගෝලීය තෙල් අර්බුදය හමුවේ අයර්ලන්තයේ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව මෙම විරෝධතා ආරම්භ විය. ට්‍රැක්ටර් සහ ලොරි රථ යොදා ගනිමින් ප්‍රධාන මාර්ග සහ තෙල් ගබඩා අවහිර කිරීම හේතුවෙන් එරට ඉන්ධන පිරවුම්හල්වලින් තුනෙන් දෙකක පමණ ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා වේ. ඩබ්ලින් නුවර ප්‍රධාන මාර්ග රැසක් ද තවමත් විරෝධතාකරුවන්ගේ පාලනය යටතේ පවතින බැවින් පොදු ප්‍රවාහන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇත.
පවතින තත්ත්වය හමුවේ අයර්ලන්ත රජය විසින් ප්‍රවාහන සහ ගොවි ක්ෂේත්‍රය සඳහා විශේෂ සහන පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම මාර්ග අවහිරතා හේතුවෙන් රට තුළ ඉන්ධන බෙදා හැරීම තවමත් බරපතල අර්බුදයක පවතින අතර, රෝහල් සහ ගිනි නිවන සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන්ට ද ඉන්ධන ලබා ගැනීම දුෂ්කර වී ඇති බව බලධාරීන් අනතුරු අඟවයි.














