නිව්යෝර්ක් නුවර කාර්යබහුලම දුම්රිය මධ්‍යස්ථානයක් වන ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් (Grand Central) ස්ථානයේදී අද (11) උදෑසන මචට් (Machete) වර්ගයේ විශාල පිහියක් අතැතිව පුද්ගලයින් තිදෙනෙකුට පහර දුන් 44 හැවිරිදි ඇන්තනි ග්‍රිෆින් නමැති සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. තමන් “ලුසිෆර්” (Lucifer) ලෙස හඳුන්වා ගනිමින් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු මොහු, එහි සිටි 84 සහ 65 හැවිරිදි පිරිමින් දෙදෙනෙකුගේ මුහුණට සහ හිසට බරපතල තුවාල සිදු කර ඇති අතර 70 හැවිරිදි කාන්තාවකට ද තුවාල සිදු කර ඇත.
පිහිය බිම දමන ලෙස පොලිසිය අවම වශයෙන් 20 වතාවකට වඩා කළ නියෝග නොතකා ඔහු නිලධාරීන් දෙසට කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය වෙඩි තබා තිබේ. තුවාල ලැබූ තිදෙනාම රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් නොමැති බව වාර්තා වේ. නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි සහ නිව්යෝර්ක් ආණ්ඩුකාර කැතී හෝකුල් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය කිසිදු තේරුමක් නොමැති සාහසික ක්‍රියාවක් බවයි.
මෙම සැකකරු මීට පෙර අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත් අයෙකු වුවද, ඔහු මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබූවෙකු ලෙස පොලිස් වාර්තාවල සඳහන් වී නොමැති බව පොලිස් කොමසාරිස් ජෙසිකා ටිෂ් පවසා සිටියාය. මෙම පරීක්ෂණ කටයුතු හේතුවෙන් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හරහා ගමන් කරන දුම්රිය ගමන් වාර රැසක් තාවකාලිකව නවතා දැමීමට හෝ ප්‍රමාද කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි.













