පාකිස්ථානයේ ඉරාන-ඇමරිකා සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විශේෂ ප්‍රකාශයක් කරමින් ලෙබනනය සමඟ සෘජු සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සිය “අනුමැතිය” ලබා දුන් බව ප්‍රකාශ කළේය. පසුගිය මාසය පුරා ලෙබනනය කිහිප වතාවක්ම සාකච්ඡා සඳහා ඉල්ලීම් කර ඇති බවත්, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් එම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම සාම සාකච්ඡා සඳහා නෙතන්යාහු ප්‍රධාන කොන්දේසි දෙකක් ඉදිරිපත් කර තිබේ. හිස්බුල්ලා සංවිධානයේ අවි ආයුධ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම (Dismantling) සහ පරම්පරා ගණනාවක් පවතින සැබෑ, ස්ථිරසාර සාම ගිවිසුමකට එළඹීම එම කොන්දේසි වේ. ලෙබනනය සමඟ පවතින දශක ගණනාවක ගැටුමට තාවකාලික විසඳුම් වෙනුවට ස්ථිර අවසානයක් දැකීම ඊශ්‍රායලයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම ක්‍රියාවලියේ මූලික පියවරක් ලෙස, දෙරටේ ඇමරිකානු තානාපතිවරුන් ලබන සතියේ වොෂින්ටන් නුවරදී හමුවී සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟ වී ඇති බව ලෙබනන ජනාධිපති කාර්යාලය ද තහවුරු කර තිබේ. මෙය මෑත ඉතිහාසයේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සාමය උදෙසා ගනු ලැබූ වඩාත්ම ප්‍රායෝගික පියවරක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ හඳුන්වති.













