මධ්‍යම පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සමනය කර ස්ථිරසාර සාමයක් කරා ගමන් කිරීමට ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගෙන් ඉල්ලා සිටියේය. ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ, කලාපීය ආරක්ෂාව තහවුරු කෙරෙන පොදු එකඟතාවකට පැමිණීමේ වැදගත්කම තමන් ඉරාන ජනාධිපතිවරයාට අවධාරණය කළ බවයි.
මෙම සාකච්ඡාවේදී මැක්‍රොන් විසින් ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම මේ වන විට වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නාවික කටයුතු සඳහා නැවත විවෘත කිරීමේ හදිසි අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. එමෙන්ම ලෙබනනය ඇතුළු සමස්ත කලාපය පුරාම සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී පෙන්වා දුන් බව වාර්තා වේ.
ඉරානය සහ ඇමරිකාව අතර පාකිස්ථානයේදී තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙන මොහොතක, ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම මැදිහත් වීම ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත. කලාපීය ආරක්ෂක ඇපකර (Security Guarantees) සහිත එකඟතාවක් හරහා ඉදිරියේදී ඇති විය හැකි ගැටුම් වළක්වා ගැනීමට මාර්ගය සකසා ගන්නා ලෙස මැක්‍රොන් ඉරානයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














