හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් පසු අදාළ තීරණය ඇතුළත් වාර්තාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවයි. අත්අඩංගුවට ගැනීමට අමතරව උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමේ ක්‍රියාවලිය ද නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් සිදුව නොමැති බව එම විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නැමැත්තෙකු ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව නිදහස් කිරීමේ චෝදනාව මත තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කෙරුණේ පසුගිය වසරේ ජුනි මස 09 වනදාය. ඉන් පසු ජුනි 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පසුව ඇප මත නිදහස් කෙරිණි. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කොමිසම ලබා දුන් මෙම තීරණය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














