කැනඩා අගමැති මාර්ක් කාර්නි (Mark Carney) ප්‍රමුඛ ලිබරල් පක්ෂය අද (අප්‍රේල් 13) පැවැත්වෙන විශේෂ අතුරු මැතිවරණවලින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඔන්ටාරියෝ සහ ක්විබෙක් ප්‍රාන්තවල පැවැත්වෙන මෙම මැතිවරණ ආසන තුනෙන් එකක් ජයග්‍රහණය කිරීම වුවද මාර්ක් කාර්නිට බහුතර බලය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් වේ. පවතින මත විමසුම් අනුව ඔවුන් අවම වශයෙන් ආසන දෙකක් හෝ ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම බහුතර බලය හිමි වීමත් සමඟ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භ කර ඇති වෙළඳ යුද්ධය (Trade War) හමුවේ වඩාත් ස්වාධීන සහ ශක්තිමත් තීරණ ගැනීමටත්, විපක්ෂයේ සහාය නොමැතිව නව පනත් සම්මත කර ගැනීමටත් අගමැතිවරයාට අවස්ථාව හිමි වේ. දැනට පාර්ලිමේන්තුවේ ආසන 343න් ආසන 171ක් ලිබරල් පක්ෂය සතුව පවතින අතර, මෙම ජයග්‍රහණයත් සමඟ 2029 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ මහා මැතිවරණය දක්වා ස්ථාවර පාලනයක් ගෙන යාමට මාර්ක් කාර්නිට හැකියාව ලැබෙනු ඇත.














