අත්ලාන්තික් සාගරය හරහා සිදු වූ වහල් වෙළඳාම වෙනුවෙන් වන්දි ලබා දීම (Reparations) සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රංශය සූදානම් බව ගානා ජනරජය ප්‍රකාශ කර තිබේ. ගානා ජනාධිපති ජෝන් ඩ්‍රැමනී මහමා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර පසුගියදා පැරිස් නුවරදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මෙම හමුවෙන් පසු අදහස් දැක්වූ ගානා විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, වහල් වෙළඳාම සඳහා වන්දි ගෙවීම, කොල්ලකන ලද පුරාවස්තු යළි ලබා දීම සහ ගෝලීය ආර්ථික අසමානතාවන් විසඳීම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති මැක්‍රොන් සිය කැමැත්ත පළ කර ඇති බවයි. කෙසේ වෙතත්, ප්‍රංශ නිලධාරීන් පවසා ඇත්තේ එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ සංස්කෘතික වටිනාකමකින් යුත් වස්තූන් සහ මානව අවශේෂ යළි ලබා දීමේ නීතිමය රාමුව පිළිබඳව පමණක් බවයි.
වහල්භාවය “මනුෂ්‍යත්වයට එරෙහි දරුණුතම අපරාධය” ලෙස පිළිගනිමින් සහ ඒ වෙනුවෙන් වන්දි ඉල්ලා ගානාව විසින් පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ අතර, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් එහිදී ඡන්දය දීමෙන් වැළකී සිටියේය.














