මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් තොටුපළවල් වසා දැමීම සහ ගුවන් ගමන් සීමා වීම නිසා ලොව ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී සන්නාමයන්හි (Luxury brands) ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. DFS සහ Avolta වැනි තීරුබදු රහිත (Duty-free) වෙළඳසැල් ජාලයන්හි සුවඳ විලවුන්, මත්පැන් සහ අනෙකුත් වටිනා භාණ්ඩ අලෙවිය මෙලෙස පහත වැටී ඇත්තේ සති හයකට අධික කාලයක් පවතින මෙම ගැටුම් හේතුවෙනි.
චීනය සහ යුරෝපය තුළ පවතින අවම ඉල්ලුම පියවා ගැනීම සඳහා සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදකයින් මෙතෙක් කාලයක් මැදපෙරදිග ගුවන් තොටුපළවල් හරහා සිදුවන ඉහළ ලාභදායී වෙළඳාම කෙරෙහි විශ්වාසය තබා තිබුණි. එහෙත් වත්මන් තත්ත්වය හමුවේ Kering සහ LVMH වැනි දැවැන්ත සමාගම් පවා සිය ආදායම් වාර්තා පහත වැටෙනු ඇති බවට අනාවැකි පළ කරයි. ඇතැම් සමාගම් මේ වන විටත් සිය තොග වෙනත් රටවලට යොමු කිරීමට සහ ඇතැම් වෙළඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර, යුද්ධය දිග්ගැස්සීමත් සමඟ මෙම ආර්ථික බලපෑම තවදුරටත් උග්‍ර වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















