ගම්පොල නගරයට එදිනෙදා පැමිණෙන මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ මූලික පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකරන ලද නව නාගරික ගිමන්හල ඊයේ (29) ජනතා අයිතියට පත් කරන ලදී. “ඉසුරුමත් හෙට දිනක් – සංවර්ධිත නගරයක්” යන තේමාව පෙරටු කරගනිමින්, කැනේඩියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම යටතේ කැනේඩියානු රාජ්‍ය ආධාර සහ ගම්පොල නගර සභාව එක්ව රුපියල් මිලියන 26කට අධික පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
ගම්පොල පෞද්ගලික බස් නැවතුම්පොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම ගිමන්හල මගින් දුරබැහැර සිට පැමිණෙන ජනතාවට සනීපාරක්ෂක අවශ්‍යතා ඉටුකර ගනිමින් විවේක ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති අතර, එහි පවත්වාගෙන යාමේ කටයුතු වෙනුවෙන් කුඩා නඩත්තු ගාස්තුවක් අය කිරීමට නියමිතය. මෙම උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆස්මින් ශරීෆ් සහ අනුරාධ ජයරත්න, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, ගම්පොල නගර සභාවේ සභාපති ඉරුක වීරරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු කැනේඩියානු රජයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.















