ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර නව වටයක සාම සාකච්ඡා මේ සතියේ ආරම්භ වනු ඇතැයි යන අපේක්ෂාව මත ආයෝජකයින් වඩාත් අවදානම් සහගත ආයෝජන (Risk appetite) කෙරෙහි යොමු වීමත් සමඟ බදාදා රන් මිල සුළු වශයෙන් පහත වැටුණි. එදින පෙරවරුවේ රන් මිල මාසයකින් වාර්තා වූ ඉහළම අගයට පැමිණියද, පසුව එය සුළු පසුබෑමකට ලක් විය.
බදාදා උදෑසන වන විට ලෝක වෙළඳපොළේ රන් මිල 0.3%කින් පහත වැටී අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,826.13ක් ලෙස සටහන් විය. මීට පෙර මාර්තු 18 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කිරීමට ද රන් මිල සමත් විය. මේ අතර ජූනි මාසයේ සැපයුම සඳහා වන ඇමෙරිකානු රන් අනාගත ගනුදෙනු (Gold futures) මිල ඩොලර් 4,850.40ක ස්ථාවර මට්ටමක පැවතිණි.
පවතින යුදමය වාතාවරණය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම නිසා උද්ධමනය පිළිබඳ බියක් ඇති වුවද, සාම සාකච්ඡා පිළිබඳ සුබවාදී බලාපොරොත්තු හේතුවෙන් රන් වැනි සුරක්ෂිත ආයෝජන සඳහා පැවති ඉල්ලුම යම් දුරකට අඩු වී තිබේ. කෙසේ වෙතත්, ඉරාන වරායන් වෙත එල්ල වී ඇති ඇමෙරිකානු වෙළඳ අවහිරතා හේතුවෙන් සැපයුම් ජාලය තවමත් අවිනිශ්චිත මට්ටමක පවතී.
















