ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ඇතිවන “යම් මට්ටමක ආර්ථික පීඩනයක්” ජාත්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් දරාගැනීම වටිනා බව අමෙරිකානු මහා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා ඇතත්, බෙස්න්ට් පවසන්නේ බටහිර රටවල අගනගරවලට එල්ල විය හැකි ඉරාන න්යෂ්ටික ප්‍රහාරවල තර්ජනය තුරන් කිරීම මෙහි මූලික අරමුණ බවයි. කෙටි කාලීන ආර්ථික පුරෝකථනයන්ට වඩා දිගුකාලීන ආරක්ෂාව තමාට වැදගත් වන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඉරානය සතුව මේ වන විට න්‍යෂ්ටික අවි නොමැති බවත්, යුරෝපය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව තක්සේරුවක් නොමැති බවත් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, බෙස්න්ට් පෙන්වා දෙන්නේ ඉරානය සතුව ලන්ඩනය දක්වා ළඟා විය හැකි මධ්‍යම දුර මිසයිල පවතින බවත්, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ලෝක ආරක්ෂාවට විශාල අවදානමක් බවත්ය. ආර්ථිකයට එල්ල වන බලපෑමට වඩා ඉරානයෙන් එල්ල විය හැකි ගෝලීය ආරක්ෂක අවදානම පිළිබඳව තමා වැඩි වශයෙන් සැලකිලිමත් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














