සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම් සමඟ ආහාරයට ගත් අධික සීනි සහ තෙල් සහිත කැවිලි වර්ග නිසා බෝ නොවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණවලින් 83%කටම බෝ නොවන රෝග වගකිව යුතු අතර උත්සව සමයේ ආහාර පාලනය ගිලිහී යාම මෙම තත්ත්වය තවත් දරුණු කළ හැකි බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම කොණ්ඩ කැවුමක කැලරි 156ක් ද අලුවා කැබැල්ලක කැලරි 88ක් ද අඟල් 3×3 ප්‍රමාණයේ කිරිබත් කැබැල්ලක කැලරි 320ක් ද අඩංගු වන බැවින් අප ගන්නා ප්‍රමාණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය.
සෞඛ්‍යය රැක ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සමබර කිරීම අත්‍යවශ්‍ය වේ. දිවා කාලයේ කැවිලි වැඩිපුර ආහාරයට ගත්තේ නම් රාත්‍රී ආහාරයට පිෂ්ඨය වෙනුවට එළවළු, සුප් හෝ ප්‍රෝටීන් බහුල ආහාර එකතු කර ගැනීම සුදුසුය. එසේම එකවර කැවිලි කිහිපයක් අනුභව කිරීම වෙනුවට කුඩා කැබලි රස බැලීමට හුරුවීම මඟින් ආහාර ප්‍රමාණය පාලනය කරගත හැකි අතර ඒ සඳහා කුඩා පිඟන් භාවිතය ද වඩාත් ඵලදායී වේ.
තෙල් භාවිතය සම්බන්ධයෙන් ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන්ම ගැඹුරු තෙලේ බැදීමේදී එකම තෙල් නැවත නැවත භාවිතයෙන් වැළකී සිටිය යුත්තේ එමඟින් හෘදයාබාධ අවදානම වැඩි කරන අහිතකර ට්‍රාන්ස් මේද ශරීරයට එකතු වන බැවිනි. මීට අමතරව උත්සව සමයෙන් පසු ශරීරයට අමතරව එකතු වූ කැලරි දහනය කිරීමට ව්‍යායාමවල නිරත වීම හෝ ක්‍රියාශීලීව සිටීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් මෙම කාල සීමාව තුළ සිය ඖෂධ නිසි පරිදි ලබා ගැනීමට වගබලා ගත යුතුය.














