සෙල්ලම් බඩු පාර්සලයක් ලෙස මවාපාමින් සූක්ෂම ලෙස ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 107ක් සොයාගෙන ඇති අතර, ඒවා කුඩා සෙල්ලම් වලස් පැටියෙකුගේ ගෙල ප්‍රදේශය තුළ සඟවා තිබී ඇත.
කුරියර් සේවාවක් හරහා මෙම මත්ද්‍රව්‍ය ගෙන්වාගෙන ඇති බවට සැකකෙරෙන අතර, සැකකරුගේ නිවස පැය ගණනාවක් පුරා සෝදිසි කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ඉලෙක්ට්‍රොනික තරාදියක්, ජංගම දුරකථන දෙකක් සහ මුදල් ද පොලිස් භාරයට ගෙන ඇත. ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ අදාළ හිටපු මන්ත්‍රීවරයා වැඩිදුර විමර්ශන සඳහා කල්මුණේ මූලස්ථාන පොලිසියට භාර දී තිබේ.
මෙම වැටලීම නැගෙනහිර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අතර, අම්පාර දිස්ත්‍රික් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමට දායක වී ඇත.














