ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) කොළඹ වරායට පැමිණියේය. ‘ASEAN Plus Cadet Sail (APCS) – 2026’ වැඩසටහන යටතේ මෙරටට පැමිණි මෙම නෞකාව, ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළුව විදේශීය රටවල් 26 ක ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් රැගෙන විත් තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකුලව නෞකාව පිළිගැනීම සිදු කරන ලදී.
දිගින් මීටර් 111.2 ක් වන මෙම රුවල් නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් සුගෙන්ග් හරියන්තෝ (Commander Sugeng Hariyanto) කටයුතු කරයි. නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණුවන නිලධාරීන්ට එය නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමිවන අතර, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති ක්‍රීඩා සහ සංස්කෘතික වැඩසටහන් කිහිපයකට ද එම පිරිස සහභාගී වීමට නියමිතය. මීට අමතරව නෞකාවේ නිලධාරීන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද සැලසුම් කර ඇත.














