හිටපු බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සමඟ එක්ව කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වී බ්‍රසීලයෙන් පලා ගිය එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් රමජෙම් (Alexandre Ramagem), ඇමෙරිකානු ආගමන විගමන අත්අඩංගුවෙන් (ICE) නිදහස් කර ඇති බව වාර්තා වේ. පසුගිය සඳුදා ඇමෙරිකානු බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, බදාදා වන විට ඔහු නිදහස් කර ඇති බව බොල්සොනාරෝගේ හිතවතෙකු සහ බ්‍රසීල ෆෙඩරල් පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
දැනට ඇමෙරිකාවේ වෙසෙන බ්‍රසීල දේශපාලන විචාරකයෙකු වන පවුලෝ ෆිගියුරෙඩෝ සිය X ගිණුම හරහා රමජෙම් නිදහස් වූ බව ප්‍රකාශ කර ඇති අතර, ICE වෙබ් අඩවියේ රඳවා තබා ගෙන සිටින පුද්ගලයින්ගේ නාමලේඛනයෙන් ද මේ වන විට ඔහුගේ නම ඉවත් කර ඇත. කෙසේ වෙතත්, ඔහුගේ වත්මන් වීසා තත්ත්වය හෝ නිදහස් කිරීමට හේතුව පිළිබඳව ඇමෙරිකානු ආගමන විගමන අංශ මෙතෙක් නිල ප්‍රකාශයක් ලබා දී නොමැත. බ්‍රසීලයේ පවතින දේශපාලන අර්බුද හමුවේ මෙම නිදහස් කිරීම කෙරෙහි එරට බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.














