චිලී රාජ්‍යයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ රැකියා ස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගනිමින්, එරට නව ජනාධිපති හොසේ ඇන්ටෝනියෝ කාස්ට් (Jose Antonio Kast) විසින් බදාදා දින නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ප්‍රතිසංස්කරණ පැකේජය යෝජනා 40කින් පමණ සමන්විත වන අතර, එහි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දැනට පවතින 27%ක ආයතනික බදු අනුපාතය (Corporate Tax Rate) ක්‍රමිකව 23% දක්වා පහත හෙළීමට ඉදිරිපත් කර ඇති යෝජනාවයි.
ජනාධිපති කාස්ට් පෙන්වා දෙන්නේ සිය රජයේ ප්‍රධාන අරමුණු පහක් පවතින බවයි. එනම් චිලී රාජ්‍යය බදු අතින් වඩාත් තරඟකාරී රටක් බවට පත් කිරීම, විධිමත් රැකියා නියුක්තිය ශක්තිමත් කිරීම, නියාමන ක්‍රියාවලීන් සරල කිරීම, නීතිමය සහ නියාමන නිශ්චිතභාවයක් ලබා දීම සහ රාජ්‍ය වියදම් සීමා කිරීමයි. කුඩා ව්‍යාපාර සඳහා සිය සේවකයින් නිල වශයෙන් ලියාපදිංචි කිරීම දිරිමත් කිරීම වෙනුවෙන් බදු සහන (Tax credits) ලබා දීමට ද මෙහිදී යෝජනා වී ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීමේදී බෙදී පවතින කොන්ග්‍රස් මණ්ඩලයක සහාය ලබා ගැනීම කාස්ට් ජනාධිපතිවරයාට පවතින ප්‍රධානතම අභියෝගය වී තිබේ.















