ඕස්ට්‍රේලියානු රෙගුලාසි ආයතනයක් විසින් ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ (ASX) මෙහෙයවන සමාගමේ පාලන තන්ත්‍රයේ සහ අවදානම් කළමනාකරණයේ බරපතල අඩුපාඩු පවතින බව පෙන්වා දීමෙන් සති දෙකකට පසු, S&P Global Ratings ආයතනය බ්‍රහස්පතින්දා එහි ණය ශ්‍රේණිගත කිරීම (Credit Rating) පහත හෙළීමට පියවර ගත්තේය. ඒ අනුව ASX හි ශ්‍රේණිගත කිරීම් “AA-/A-1+” සිට “A+/A-1” දක්වා පහත වැටී තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම් පහත වැටීම ASX සමාගම මෑත කාලීනව මුහුණ දුන් අසාර්ථකත්වයන් රැසක ප්‍රතිඵලයකි. වරින් වර සිදුවූ වෙළඳාම් ඇනහිටීම් (Trading outages), ප්‍රමාද වූ CHESS පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන සහ 2024 වසරේදී සිදුවූ ගනුදෙනු පියවීමේ බිඳවැටීම් මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ආයෝජකයින්ගේ විශ්වාසය පළුදු වීමට බලපෑ මෙම කරුණු සැලකිල්ලට ගනිමින් S&P ආයතනය මෙම තීරණය ගෙන ඇති අතර, මෙය ඕස්ට්‍රේලියානු මූල්‍ය වෙළඳපොළේ ස්ථාවරත්වය පිළිබඳව නැවත සලකා බැලීමට හේතු වනු ඇත.













