රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කර තිබේ. චීනය සහ ඉන්දියාව වැනි රටවල් රුසියාව සමඟ ඇති කරගෙන තිබෙන වෙළඳ ගිවිසුම්වලට සමාන පදනමක් මත ලංකාවට ද සහනදායී ලෙස ඉන්ධන ලබාගත හැකිද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.
ඉරාන සහ රුසියානු ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ලබාදුන් දින 30ක සහන කාලය මෙම සතියෙන් අවසන් වීමට නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා පසුගිය මාර්තු 20 වැනිදා මෙම සහනය ලබාදී තිබුණි. කෙසේ වෙතත් එම කාලසීමාව තවදුරටත් දීර්ඝ නොකරන බව අමෙරිකාව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සම්බාධක තද වුවද ලෝක වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බව සංස්ථාව අවධාරණය කරයි.













