බයර්න් මියුනිච් කණ්ඩායම හමුවේ ලැබූ අමිහිරි පරාජයත් සමඟ රියල් මැඩ්රිඩ් (Real Madrid) කණ්ඩායමට මෙවර තරග වාරය කිසිදු ප්‍රධාන කුසලානයක් නොමැතිව අවසන් කිරීමට සිදුවීමේ දැඩි අවදානමක් මතු වී තිබේ. චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වීමත්, ස්පාඤ්ඤ ලා ලිගා (La Liga) ශූරතාවලියේ පෙරමුණේ පසුවන බාර්සිලෝනා කණ්ඩායමට වඩා ලකුණු 9ක් පසුපසින් සිටීමත් නිසා ඔවුන්ට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වී ඇත. මෙම සියවසේ මෙතෙක් ගත වූ කාලය තුළ රියල් මැඩ්රිඩ් කණ්ඩායම ප්‍රධාන කුසලානයක් දිනා ගැනීමට අපොහොසත් වී ඇත්තේ වාර හතරකදී පමණක් වන අතර, මෙවර එය පස්වන වතාව ලෙස ඉතිහාසයට එක්වීමේ ලකුණු පහළ වී තිබේ.
වත්මන් පුහුණුකරු අල්වාරෝ ආර්බෙලෝවා (Alvaro Arbeloa) යටතේ කණ්ඩායම දැක්වූ දක්ෂතා ස්ථාවර මට්ටමක නොතිබීම විචාරකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. විශේෂයෙන්ම සාබි ඇලොන්සෝ (Xabi Alonso) ඉල්ලා අස්වීමෙන් පසු කණ්ඩායමේ වගකීම භාරගත් ආර්බෙලෝවාට, දෙවන පෙළ කණ්ඩායමක් වූ ඇල්බසෙටේ (Albacete) හමුවේ පරාජය වී කෝපා ඩෙල් රේ (Copa del Rey) තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු විය. ජයග්‍රහණ මිස පරාජයන් හුරු නැති රියල් මැඩ්රිඩ් වැනි සමාජ ශාලාවක, ප්‍රධාන කුසලානයක් දිනා දීමට අපොහොසත් වන පුහුණුකරුවන්ට දිගුකාලීනව රැඳී සිටීමට අවස්ථාව හිමි නොවන බැවින්, ආර්බෙලෝවාගේ අනාගතය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














