දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ අපරාධ මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ. ‘එක්ව නැගිටිමු’ (A Nation United) ජාතික වැඩපිළිවෙළ යටතේ ඊයේ (15) දිනය තුළ පමණක් දිවයින පුරා වැටලීම් 485ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 489 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 155ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 221ක් සහ මාවා ග්‍රෑම් 179ක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, තවත් සැකකරුවෙකුගේ නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ පුද්ගලයන් 24,797 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 415 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතරට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 21ක්, වරෙන්තුකරුවන් 157ක් සහ විවෘත වරෙන්තුකරුවන් 76ක් ඇතුළත් වේ.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 166 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 2,793 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.














