බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ Massive Attack සංගීත කණ්ඩායම සහ ඇමෙරිකානු ප්‍රවීණ ගායක Tom Waits වසර ගණනාවකට පසු එක්ව ‘Boots On The Ground’ නමින් නවතම විරෝධතා ගීතයක් අද (16) නිකුත් කර තිබේ. ඇමෙරිකාවේ සංක්‍රමණික ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවන ICE (Immigration and Customs Enforcement) වැටලීම් සහ සිවිල් වැසියන් ඝාතනය වීමට එරෙහිව මෙම ගීතය නිර්මාණය කර ඇත.
බටහිර ලෝකය තුළ රාජ්‍ය ඒකාධිපතිවාදය සහ පොලිස් බලකායන් මිලිටරිකරණය වීමට එරෙහිව මෙමඟින් හඬ නඟන අතර, ගීතයෙන් ලැබෙන සියලුම ආදායම ඇමෙරිකානු සිවිල් නිදහස් සංගමය (ACLU) සහ සංක්‍රමණික ආරක්ෂක ව්‍යාපෘතිය (IDP) වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.
Massive Attack කණ්ඩායමට ආවේණික වූ මන්දගාමී සහ ගම්භීර සංගීත රටාවට Tom Waits ගේ ගැඹුරු සහ රළු හඬ මුසු කරමින් මෙය නිපදවා ඇත. මෙහි අමතර ගායනයෙන් Waits ගේ පුත් Casey ද දායක වී තිබේ.
“අපි ඔබේ වැටවල් කපන්නෙමු, අපි ඔබේ යුද්ධවල සටන් කරන්නෙමු… නමුත් අවසානයේ අපි අසරණ වන්නෙමු” යන අරුත දෙන පද පේළි හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් පත්ව ඇති අසීරු තත්ත්වය මෙහිදී විග්‍රහ කෙරේ.
වසර කිහිපයකට පසු මෙම කලාකරුවන් දෙපාර්ශවයම නිකුත් කළ පළමු නිර්මාණය මෙය වන බැවින් ලොව පුරා සංගීත ලෝලීන්ගේ දැඩි අවධානයක් මේ සඳහා යොමුව පවතී.














