අලුත් අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් පසුගිය අප්‍රේල් 10 වැනිදා සිට 18 වැනිදා දක්වා වූ කාලය තුළ මෙරට අධිවේගී මාර්ග ජාලය භාවිතා කළ රථ වාහන මගින් රුපියල් මිලියන 441 කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ අදාළ දින 9 ක කාලය තුළ රථ වාහන 1,170,830 ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය යන සියලුම මාර්ගයන්ගෙන් මෙම ආදායම ලැබී ඇත. උත්සව සමයේ දෛනිකව ලැබුණු ආදායම් වාර්තාවන් පහත පරිදි වේ.
උත්සව සමයේ අධිවේගී මාර්ග ආදායම් වාර්තාව
අප්‍රේල් 10 වැනිදා රථ වාහන 161,847 ක් ගමන් කර ඇති අතර ලැබුණු ආදායම රුපියල් මිලියන 59.8 කි. අප්‍රේල් 11 වැනිදා රථ වාහන 153,807 කින් රුපියල් මිලියන 58.2 ක ආදායමක් ලැබී ඇති අතර අප්‍රේල් 12 වැනිදා වාහන 118,684 ක් වෙනුවෙන් රුපියල් මිලියන 45.2 ක් උපයා ඇත. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනවල එනම් අප්‍රේල් 13 වැනිදා වාහන 84,211 කින් රුපියල් මිලියන 31.6 ක් සහ අප්‍රේල් 14 වැනිදා වාහන 91,776 කින් රුපියල් මිලියන 34.3 ක ආදායමක් ලැබී තිබේ.
නිවාඩුව අවසන් වී ජනතාව යළි කොළඹ බලා පැමිණීම ආරම්භ වූ අප්‍රේල් 15 වැනිදා වාහන 139,480 ක් ධාවනය වී ඇති අතර එහි ආදායම රුපියල් මිලියන 52.5 කි. අප්‍රේල් 16 වැනිදා රුපියල් මිලියන 53 ක් ද, අප්‍රේල් 17 වැනිදා වාහන 138,944 ක් වෙනුවෙන් රුපියල් මිලියන 53 ක් ද උපයා ඇත. ඊයේ එනම් අප්‍රේල් 18 වැනිදා වාහන 141,813 ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති අතර ඉන් රුපියල් මිලියන 53 කට අධික ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.













