කඩුගන්නාව, මුදලිවත්ත ප්‍රදේශයේදී සිය මවගේ දෙවන විවාහයේ සැමියාට මෝල් ගසකින් පහරදී ඝාතනය කළ බව කියන 40 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගිය අප්‍රේල් 16 වැනිදා මෙම අමානුෂික පහරදීම සිදුව ඇති අතර, ඉන් බරපතල තුවාල ලැබූ 65 හැවිරිදි පුද්ගලයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුදින (අප්‍රේල් 17) ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පුද්ගලයා සැකකරුගේ බාප්පා (මවගේ දෙවන සැමියා) බව පොලිසිය තහවුරු කර තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව මියගිය පුද්ගලයා සහ සැකකරු අතර කලක පටන් පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇත. සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. අවුරුදු සමයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම පුවත ප්‍රදේශවාසීන් අතර දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු විය.














