ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය තුළ සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 430ක මූල්‍ය ප්‍රතිපාදන යොදවා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය හෙට (අප්‍රේල් 21) සිට නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය. රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් ආබාධිත ප්‍රජාවට පොදු ප්‍රවාහන සේවාවන් වෙත ඇති ප්‍රවේශය වඩාත් පහසු සහ ගෞරවනීය මට්ටමකට පත් කෙරේ.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රෝද පුටු භාවිතා කරන්නන්ට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි පරිදි විශේෂයෙන් සැකසූ නවීන වායුසමනය කළ බස් රථ 10ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇත. මෙම බස් රථයක එකවර මගීන් 80කට ගමන් කළ හැකි අතර ආසන 33කින් සමන්විතය. රෝද පුටු භාවිතා කරන්නන්ගේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ තාක්ෂණික අංග රැසක් ද මෙම බස් රථවලට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
මෙම බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව සහ කඩවත දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු කොළඹ අවට ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ධාවන කටයුතු සිදු කෙරේ. මෙමගින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට සහ ආබාධිත පුද්ගලයන්ට විශාල සහනයක් සැලසෙනු ඇත.
මෙම සේවාව වඩාත් කාර්යක්ෂම සහ සුහදශීලී අයුරින් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකු සඳහා මේ වන විටත් විශේෂ පුහුණුවක් ලබා දී තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසන පරිදි මෙය මෙරට පොදු ප්‍රවාහන සේවය වඩාත් මානුෂීය මුහුණුවරකින් නවීකරණය කිරීමේ එක් සුවිශේෂී පියවරකි.














