වසර අටකට පසු දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු ඉන්දියාවේ සිදු කරන පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින්, ජනාධිපති ලී ජේ මියුන්ග් මහතා අද (අප්‍රේල් 20) නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ වන්නේ දෙරට අතර පවතින ආර්ථික සහ උපායමාර්ගික සබඳතා නව මානයකට ඔසවා තැබීමයි.
වර්තමානයේ දෙරට අතර පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 25.7ක වෙළඳ ගනුදෙනු ප්‍රමාණය 2030 වසර වන විට බිලියන 50 දක්වා දෙගුණ කිරීම මෙම සමුළුවේ මූලික ඉලක්කය වී තිබේ. විශේෂයෙන්ම නෞකා නිෂ්පාදනය, කෘතිම බුද්ධිය (AI), ආරක්ෂක අංශය සහ මූල්‍ය ක්ෂේත්‍රය යන අංශයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ ලෝක සැපයුම් දාමයන් අස්ථාවර වී ඇති පසුබිමක, ඉන්දියාව සහ දකුණු කොරියාව එකිනෙකාට අතිශය වැදගත් උපායමාර්ගික හවුල්කරුවන් වනු ඇති බව ජනාධිපති ලී මහතා අවධාරණය කළේය. විශේෂයෙන්ම මැදපෙරදිගින් ලැබෙන ‘නැප්තා’ (Naphtha) සැපයුම් අඩාල වීමේ අවදානම හමුවේ, ඉන්දියාවෙන් එම සැපයුම් පුළුල් කර ගැනීමට දකුණු කොරියාව අපේක්ෂා කරයි.
දෙරට අතර පවතින වෙළඳ අසමතුලිතතාවය අවම කර ගැනීම සඳහා ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. දකුණු කොරියාව සතු කාර්මික ශක්තිය සහ ඉන්දියාවේ පවතින ශ්‍රම බලකාය ඒකාබද්ධ කරමින් නව රැකියා අවස්ථා උත්පාදනය කළ හැකි නෞකා නිෂ්පාදන ක්ෂේත්‍රය කෙරෙහි ඉන්දියාවේ දැඩි උනන්දුවක් පවතී. ඉන්දීය සංචාරයෙන් අනතුරුව දකුණු කොරියානු ජනාධිපතිවරයා වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතය.














