නිව්යෝර්ක් නුවර ජෝන් එෆ්. කෙනඩි (JFK) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මගී ගුවන් යානා දෙකක් එකිනෙකට ඉතා ආසන්නයෙන් පියාසර කරමින් ගැටීමට ගිය අනතුරුදායක සිදුවීමක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගිය සඳුදා සිදුවූ මෙම සිදුවීමට රිපබ්ලික් එයාර්වේස් (Republic Airways) සහ ජෑස් ඒවියේෂන් (Jazz Aviation) යන ගුවන් සේවාවලට අයත් යානා දෙකක් මැදි වී ඇත. යානා දෙක සමාන්තර ධාවන පථ දෙකකට ගොඩබෑමට සූදානම් වූ අවස්ථාවේදී, එක් යානයක් නියමිත ගුවන් පථයෙන් බැහැරව අනෙක් යානයට ඉතා ආසන්නයෙන් පියාසර කර තිබේ. ගුවන් යානා දත්තවලට අනුව, මෙම යානා දෙක අතර සිරස් පරතරය අඩි 350ක් (මීටර් 106ක්) දක්වාත්, තිරස් පරතරය සැතපුම් 0.62ක් දක්වාත් අඩු වී ඇත.
එම අවස්ථාවේදී යානා දෙකෙහිම අනතුරු ඇඟවීමේ සංඥා (Anti-collision alarms) නාද වී ඇති අතර, ගුවන් පාලක මැදිරිය මඟින් ලබා දුන් උපදෙස් මත නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානා ඉහළට එසවීමට (Go-around) පියවර ගෙන තිබේ. වාසනාවකට මෙන් කිසිදු අනතුරකින් තොරව යානා දෙකම පසුව ආරක්ෂිතව ගොඩබස්වා ඇත. පසුගිය මාසයේදී ද නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටී නියමුවන් දෙදෙනෙකු මියයෑමේ දරුණු අනතුරක් ද වාර්තා විය.














