බෙලාරුස් රාජ්‍යයේ රැඳවුම් මධ්‍යස්ථානයක පවතින ඉතා දුර්වල තත්ත්වයන්, අමානුෂික සැලකීම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ සිය දැඩි කනස්සල්ල පළ කරති. ‘නවපොලට්ස්ක්’ (Navapolatsk) නම් විශෝධන කඳවුරක සේවය කළ මනෝ විද්‍යාඥයෙකු සමඟ පැවැත්වූ රහසිගත සාකච්ඡාවලින් පසුව මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
එහි සිටින රැඳවුම්කරුවන් දීර්ඝ කාලයක් හුදකලා කර තැබීම (Solitary confinement), විනය ක්‍රියාමාර්ග මෙන්ම සියදිවි නසා ගැනීමට උත්සාහ කරන්නන් හට පවා දරුණු කායික දඬුවම් ලබා දෙන බවට චෝදනා එල්ල වී ඇත. එමෙන්ම ඔවුන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, පවුලේ සාමාජිකයන් හමුවීමේ අවස්ථාව සහ නීතිඥ සහය ලබා ගැනීම ද වළක්වා ඇති බව සඳහන් වේ.
කිසිදු අධිකරණ තීන්දුවකින් තොරව ඇතැම් රැඳවුම්කරුවන් “ත්‍රස්තවාදීන්” සහ “අන්තවාදීන්” ලෙස නම් කර ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. දේශපාලනමය වශයෙන් එල්ල වූ චෝදනා මත 2022 සිට 2025 දක්වා අත්තනෝමතික ලෙස රඳවා තැබූ මාධ්‍යවේදියෙකු සහ බ්ලොගර්වරයෙකු වන ඉහාර් ලොසික් (Ihar Losik) ද මෙවැනි පීඩාවන්ට ලක් වූ අයෙකු ලෙස හඳුනාගෙන ඇත.
රැඳවුම්කරුවන්ට සීතලෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් ඇඳුම් ලබා නොදීම ඇතුළු ක්‍රියාවන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ වධහිංසාවට එරෙහි සම්මුතීන් (Convention against Torture) සෘජුවම උල්ලංඝනය කිරීමක් බව විශේෂඥයෝ පවසති. මානව හිමිකම් සංවිධාන 18ක් එක්ව මීට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද මේ පිළිබඳව අනතුරු අඟවා තිබුණි.
මනුෂ්‍යත්වයට ගරු කරන රැඳවුම් කොන්දේසි සහතික කරන ලෙසත්, රැඳවුම් භාරයේදී සිදුවන මරණ සහ බරපතල තුවාල පිළිබඳව ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් විශේෂඥයෝ බෙලාරුස් රජයට මතක් කර සිටිති.














