ධවල මන්දිර මාධ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඇති වූ ආරක්ෂක අවදානම නොතකා, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින සිය නිල ඇමරිකානු සංචාරය සැලසුම් කළ පරිදිම ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ. රජු සහ රැජින අද (27) ඇමරිකාව බලා පැමිණීමට නියමිත අතර, මෙය බ්‍රිතාන්‍ය රජෙකු ලෙස චාල්ස් රජු සිදුකරන පළමු නිල ඇමරිකානු සංචාරයයි.
පසුගිය සෙනසුරාදා සිදුවූ වෙඩි තැබීමෙන් පසු දෙරටේ ආරක්ෂක අංශ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, රජුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ධවල මන්දිරය සහ බකිංහැම් මාලිගය තහවුරු කරයි. මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අතර පවතින මතභේද සමනය කරමින් දෙරටේ ‘සුවිශේෂී සබඳතාව’ (Special Relationship) යළි ශක්තිමත් කිරීම මෙම සිව්දින සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. චාල්ස් රජු හෙට (28) දිනයේදී ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට ද නියමිතය.














