මහා භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ට ගෙවීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (27) ප්‍රකාශ කළේය.
මෙම මූල්‍ය හානිය සිදුව ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් බවත්, මේ පිළිබඳව දැනටමත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. අදාළ නිලධාරීන්ට එරෙහිව මූලික විනය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති අතර, විමර්ශන වාර්තා ලැබුණු පසු ඉදිරි දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේය.
මෙම සිදුවීම පිටුපස නිලධාරීන්ගේ නොසැලකිල්ලට අමතරව වෙනත් පාර්ශ්වයන්ගේ සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම අතර සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුවය.
ඕස්ට්‍රේලියානු ණය වාරිකයක් ගෙවීමට යාමේදී සිදුවූ මෙම සයිබර් අපරාධය සම්බන්ධයෙන් රජය දැනටමත් ජාත්‍යන්තර සහ දේශීය විමර්ශන ආයතන දැනුවත් කර තිබේ.











