ලෙබනනය තුළ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සෞඛ්‍ය සේවාවන් සහ මානුෂීය මෙහෙයුම් බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කරයි. ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ලෙබනනයේ සෞඛ්‍ය සේවාවලට එල්ල වූ ප්‍රහාර සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තහවුරු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම ප්‍රහාර හේතුවෙන් 100 දෙනෙකු මිය ගොස් 233 දෙනෙකු තුවාල ලබා ඇත. සිවිල් වැසියන්ට, සෞඛ්‍ය සේවකයින්ට සහ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, එය කිසිසේත් පිළිගත නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් අවධාරණය කළේය. විශේෂයෙන්ම පසුගිය අඟහරුවාදා ටයර් දිස්ත්‍රික්කයේ ගලවා ගැනීමේ සේවකයින් තිදෙනෙකු මිය ගියේ පීඩාවට පත් පිරිසකට සහාය වීමට ගිය අවස්ථාවකදීය.
ගැටුම හේතුවෙන් කාන්තාවන් සහ ළමයින් දැඩි පීඩාවට පත්ව සිටින අතර, පවුල් වෙන්වීම සහ ජනාකීර්ණ නවාතැන් තුළ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමේ අවදානමක් ද පවතී. මීට අමතරව, 2026 අප්‍රේල් සහ අගෝස්තු අතර කාලය තුළ මිලියන 1.24 ක ජනතාවක්, එනම් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුම අර්බුද මට්ටමේ කුසගින්නකට (IPC අදියර 3 හෝ ඊට වැඩි) මුහුණ දෙනු ඇති බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) අනතුරු අඟවයි.
ලෙබනනය සඳහා අවශ්‍ය මානුෂීය ආධාර සැපයීමට ඩොලර් මිලියන 308 ක අරමුදලක් අවශ්‍ය වුවද, මේ දක්වා ලැබී ඇත්තේ ඉන් සියයට 38 ක ප්‍රතිශතයක් වන ඩොලර් මිලියන 117 ක් පමණක් බව ස්ටෙෆාන් ඩුජාරික් වැඩිදුරටත් සඳහන් කළේය.













