ඌරුබොක්ක මනන්කැටිය ප්‍රදේශයෙන් අතිවිශාල භූ ජල මූලාශ්‍රයක් සොයා ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමත්ව තිබේ. මෙම සොයාගැනීමත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති උග්‍ර පානීය ජල අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා ප්‍රකාශ කළේ පස්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් මත මෙම ගවේෂණය සිදු කළ බවයි.
පවතින වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ඌරුබොක්ක ප්‍රදේශයේ ළිං ජලය සිඳී යාම නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටියහ. ඌරුබොක්ක නගරය ඇතුළු දම්පහල, හුලංකන්ද, හීගොඩ, අමුහේන්ගොඩ, හොරගස්මන්ඩිය, කටුවන සහ කීරපිටිය වැනි ගම්මාන රැසක පවුල් 10,000ක පුද්ගලයින් 50,000කට අධික පිරිසක් මෙම ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටියහ. ජල හිඟය හේතුවෙන් ප්‍රදේශයේ පාසල්වල සහ හීගොඩ රෝහලේ දෛනික කටයුතු පවා අඩාල වී තිබූ අතර, මෙතෙක් බවුසර් මගින් ජලය බෙදා හැරීම ප්‍රමාණවත් නොවූ බව ප්‍රදේශවාසීහු චෝදනා කළහ. මෙම නව ජල මූලාශ්‍රය ඔස්සේ එම ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව බලධාරීන් සඳහන් කරයි.














