මෑතකදී ප්‍රකාශයට පත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසරේදී ඛනිජ තෙල් සංස්ථාව විසින් රුපියල් බිලියන 36.4ක ලාභයක් වාර්තා කර ඇතත්, එම ලාභය අත්පත් කරගෙන ඇත්තේ බෙදුම්කරුවන්ට නීත්‍යානුකූලව හිමි විය යුතු වට්ටම් මුදල් අසාධාරණ ලෙස කපා හැරීමෙන් බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. 1961 වසරේ සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන බෙදුම්කරුවන්ට හිමි ලාභාංශ කොටසෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසරේ මාර්තු මස සිට සංස්ථාව විසින් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති අතර, මෙම තත්ත්වය හමුවේ දිවයින පුරා පිරවුම්හල් රැසක් වැසී යාමේ බරපතල අවදානමක් මතුව තිබේ.
විදේශීය තෙල් සමාගම් මෙරට වෙළෙඳපොළට පැමිණීමේදී ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාවර කිරීම සඳහා 2022 වසරේ අනුමත වූ කැබිනට් පත්‍රිකාවට අනුව, බෙදුම්කරුවන්ට 3%ක මෙහෙයුම් ලාභාංශයක් ලබා දීමට එකඟ වී තිබුණි. විදේශීය සමාගම් තවමත් එම ගිවිසුම්ගත ප්‍රතිශතය තම අලෙවි නියෝජිතයන්ට ලබා දුන්නද, ඛනිජ තෙල් සංස්ථාව විසින් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට එම ප්‍රතිශතය ඒක පාර්ශ්විකව 1.5% දක්වා අඩු කර එම මුදල සංස්ථා ලාභයට එකතු කර ගෙන ඇත. පසුගිය 2024 වසරේදී ලාභය බිලියන 34.2ක්ව තිබියදී මෙවර බිලියන 36.4ක ලාභයක් පෙන්වන්නේ කෙසේද යන්නත්, එම ලාභය සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වයක් නොව බෙදුම්කරුවන්ගේ ආදායම මත පදනම් වූවක් බවත් සංගමය බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි.














