ශ්‍රී ලංකාවේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමින් SLT-MOBITEL විසින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) මෙහෙවරෙහි කොටසක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාල අතර පැවති 95 වන සුලෝහිත ක්‍රිකට් තරගයට සමගාමීව ‘Play for the Planet’ යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කරන ලදී. අනාගත පරපුර උදෙසා මිහිතලය රැකගැනීමේ වැදගත්කම ක්‍රීඩාව හරහා සමාජගත කිරීම මෙම පියවරේ මූලික අරමුණයි.
ස්වභාවධර්මයේ ආශ්චර්යමත් නිර්මාණයක් වන කඩොලාන පරිසර පද්ධතිය, උදම් රළ වැනි ස්වභාවික ආපදාවලින් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කරන අතරම ජෛව විවිධත්වය සුරකින රැකවරණයක් ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන්ම ජල තලයට යටින් විහිදී පවතින කඩොලාන මුල් මඟින් ශතවර්ෂ ගණනාවක් පුරා කාබන් විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගනිමින් දේශගුණ විපර්යාසවලට එරෙහිව සක්‍රීයව සටන් කරයි. එහෙත් නාගරික සංවර්ධනය සහ පාරිසරික විනාශය නිසා මෙම වටිනා පරිසර පද්ධතිය වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, එමඟින් ගබඩා වී ඇති කාබන් නැවත පරිසරයට මුදා හැරීම තුළින් ගෝලීය උණුසුම ඉහළ යාමේ අවදානමද පවතී.
මෙම අභියෝගයට විසඳුමක් ලෙස SLT-MOBITEL විසින් ක්‍රියාවට නංවන ලද ආනවිලුන්දාව කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, නීල කාබන් පද්ධති ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාව පාරිසරික වශයෙන් ශක්තිමත් කිරීමට කැපවී සිටී. පාරිසරික යහපත, ප්‍රජා සවිබලගැන්වීම සහ තිරසාර සංවර්ධනය උදෙසා සිය කැපවීම නැවත තහවුරු කරමින්, වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, මහනුවර පාරිභෝගික සමාජය සහ Million Laugh Entertainment සමාගම සමඟ එක්ව මේ වන විට ආනවිලුන්දාව තෙත් බිමේ කඩොලාන ශාක 400ක් රෝපණය කර අවසන්ය.
මෙම රෝපණ වැඩසටහනට ආනන්ද සහ නාලන්ද විද්‍යාල නියෝජිතයින් ඇතුළු පාර්ශව රැසක් සහභාගී වූ අතර, එය පරිසර සංරක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ප්‍රජාව වෙත ලබා දුන් අවස්ථාවක් විය. තිරසාරභාවය යනු පොදු වගකීමක් බව පෙන්වා දෙමින්, දේශීය පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ දේශගුණික අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම මෙහෙවර, අනාගතයේදී තවත් මෙවැනිම පාරිසරික සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අන් අයද දිරිමත් කරනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි.














