පාරිසරික සෞඛ්‍යය සහ අසාත්මික රෝග පිළිබඳව සිදුකළ විශිෂ්ට විද්‍යාත්මක පර්යේෂණයකින් ජාත්‍යන්තර ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන ආචාර්ය නිශාදි දෙල්ගම මහත්මිය සමත්ව ඇත. ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක ලෙස සේවය කරන ඇය, ශ්‍රී ලංකාවේ ලාබාලතම වෛද්‍යවරියන්ගෙන් අයෙකු ලෙස සැලකෙන අතර 2026 වසරේ නගෝයා විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ‘Medical Encouragement Award’ සම්මානය දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද ඇයයි. වසර හතරකට ආසන්න කාලයක් මිනිසුන් සහ මීයන් යොදාගෙන සිදුකළ මෙම පර්යේෂණය මගින් PM2.5 අංශු ශරීරය තුළ හැසිරෙන ආකාරය පිළිබඳව නවතම තොරතුරු අනාවරණය වී තිබේ.
ආසාත්මිකතා ඇති පුද්ගලයින්ගේ නාසය තුළට ඇතුළුවන අති සියුම් දූවිලි අංශු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 4 ගුණයක ප්‍රමාණයකින් එහි තැන්පත් වන බවත්, මෙම ක්ෂුද්‍ර අංශු පරිසරයේ ඇති ලෝහ සහ රසායනික ද්‍රව්‍ය ශරීරය තුළට රැගෙන යන වාහකයෙකු ලෙස ක්‍රියා කරන බවත් ඇය සොයාගෙන ඇත. මෙම ක්‍රියාවලිය නිසා නාසය තුළ ‘මියුසින්’ ලෙස හඳුන්වන ශ්ලේෂ්ම වැඩිපුර නිපදවෙන අතර එහි ඇලෙන සුළු ස්වභාවය නිසා තව තවත් අංශු නාසය තුළ රැඳී පවතින බැවින් නිතර කිවිසුම් යාම, නාසයෙන් දියර ගැලීම සහ ඇස් කැසීම වැනි රෝග ලක්ෂණ තවදුරටත් උග්‍ර වන බව ඇය සිය පර්යේෂණයෙන් පෙන්වා දෙයි. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය පසුගියදා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉමේන්ද්‍ර කොටපොල මහතාගේ විශේෂ ඇගයීමට ද ලක්විය.














