කැලණිය ගුරුකුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වූ “සිංහල සිනමාවේ මහා නිළිය” ලෙස විරුදාවලිය ලත් දිවංගත මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කළ උපහාර උත්සවයක් ඉකුත් 30 වැනිදා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී විද්‍යාලයීය නවීකරණය කරන ලද රංග ශාලාව “මාලිනී ෆොන්සේකා රංග ශාලාව” ලෙස නම් කිරීම විශේෂත්වයක් වූ අතර එහි ස්ථාපිත කරන ලද මාලිනියගේ උඩුකය ප්‍රතිමාව සහ සමරු ඵලකය විවෘත කිරීම ද එහිදී සිදු විය.
මාලිනී ෆොන්සේකා මහත්මිය සිය මාතෘ පාසලට සහ මෙරට කලා ක්ෂේත්‍රයට ඉටුකළ අනභිභවනීය මෙහෙවර අගය කරමින් පැවැත්වූ මෙම අවස්ථාවට ප්‍රවීණ කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ. ඒ අතර ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා සහ එම මහත්මිය, මාලිනියගේ නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි සහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ශ්‍රියානී මහවත්ත මහත්මිය ඇතුළු පිරිසක් විය.














