අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී ඇති විවිධ චෝදනා පිළිබඳව බෝධි ධම්ම විහාර කමිටුව සිය අවධානය යොමු කරමින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම කමිටුව පෙන්වා දෙන්නේ නීතිමය ක්‍රියාමාර්ග මගින් කිසියම් පුද්ගලයෙකු වරදකරු වන තෙක් ඔහු නිවැරදිකරුවෙකු ලෙස සැලකීමේ නීතිමය තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගත යුතු බවයි. වසර 70ක් පුරා අතිවිශාල ශාසනික මෙහෙවරක නිරත වූ තෙරුන් වහන්සේ නමක පිළිබඳව පූර්ව නිගමනවලට එළඹීමෙන් වළකින ලෙසත්, සත්‍යය අනාවරණය වන තෙක් උපේක්ෂාවෙන් බලා සිටින ලෙසත් එම නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බෝධි ධම්ම විහාරයේ සභාපති දීප්ත වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව 2026 මැයි මස 04 වන දින මෙම නිවේදනය නිකුත් කර ඇත.















