මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශ්වයකට ලැබීම සම්බන්ධ සිද්ධිය දැවැන්ත මූල්‍ය වංචාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ මෙම මුදල රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පවතින පරිපාලනමය අවුල් සහගත තත්ත්වය රටට බරපතල තත්ත්වයක් උදා කර ඇති බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි පළපුරුද්දක් නොමැති බවත්, දක්ෂ පරිපාලන නිලධාරීන් වෙනුවට වෙනත් සේවා ව්‍යුහයන්ට අයත් පිරිස් පත් කිරීමෙන් පද්ධතිය අඩපණ වී ඇති බවත්ය. ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සඳහා පමණක් බලය ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය ගනුදෙනුවට සම්බන්ධ වූයේ කෙසේද යන්න පිළිබඳව ඔහු ගැටලු මතු කළ අතර, ණය සේවාකරණය සිදු විය යුත්තේ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා වුවද මෙහිදී ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පැටලී ඇති බව පැවසුවා. අමෙරිකානු ඩොලර් ලක්ෂ නමයක වැනි දැවැන්ත ගෙවීමක් සිදු කර ඇත්තේ කාගේ අනුමැතියෙන්ද යන්න ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, අදාළ නිලධාරීන්ට එවැනි බලයක් පැවරී තිබුණේ ද යන්න විමසා සිටියා.
එසේම මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප වතාවක්ම මුදල් කාරක සභාව හමුවට පැමිණීම මගහැර ඇති බවත්, තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවා ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු පැවසුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිමය විමර්ශනයක් කළ යුතු බවත්, තමන් මුදල් කාරක සභාව හරහා එහි ප්‍රතිපත්තිමය සහ පරිපාලනමය ගැටලු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.














