කථානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක නිල නිවස නිල කටයුතු සඳහා භාවිතා කරන බවත්, එහි නඩත්තු කටයුතු රජය විසින් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා නිල නිවාස දෙකක් පරිහරණය කරන බවටත්, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටද නිල නිවසක් ලබා දී ඇති බවටත් නැඟූ චෝදනාවලට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැහැදිලි කළේ කථානායකවරයා එහි පදිංචිව නොසිටියද, රජයේ නිල උත්සව, රැස්වීම් සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සඳහා එම නිවස යොදා ගන්නා බවයි. එම පරිශ්‍රය විනාශ වීමට ඉඩ නොදී නඩත්තු කිරීම රජයේ වගකීමක් බවත්, ඒ සඳහා අවම සේවක පිරිසක් යොදවා ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ අමාත්‍ය නිල නිවාස 47 සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. ඒ අනුව දැනටමත් නිවාස කිහිපයක් මහාධිකරණ කටයුතු සඳහා ලබා දී ඇති අතර, සෙසු නිවාස රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු අවධාරණය කළේය. කථානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට අමාත්‍ය නිල නිවාස ලබා දී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














