පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන්ද විධිමත් පුහුණුවක් ලැබීම අත්‍යවශ්‍ය කරුණක් බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති ශ්‍රී ලංකා පළාත් පාලනය පිළිබඳ ආයතනයේ ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
මෙහිදී පළාත් පාලනය, මූල්‍ය කළමනාකරණය, ප්‍රජා සංවර්ධනය සහ නීතිය වැනි විෂයයන් යටතේ සාර්ථකව පුහුණුව නිම කළ 200කට ආසන්න පිරිසකට සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මහජනතාවට වඩාත් සමීප රාජ්‍ය යාන්ත්‍රණය වන පළාත් පාලන ආයතන තුළ පවතින සේවා සැපයීමේ ගැටලු අවම කිරීමට මෙවැනි අධ්‍යයන පාඨමාලා හරහා ලැබෙන දැනුම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වර්තමාන රජය පවතින පද්ධතිය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ ලෙස පරිවර්තනය කිරීමට කැපවී සිටින බව පැවසූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය ඉදිරියේදී විශ්වවිද්‍යාල මට්ටමේ ඉහළ අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවද අනාවරණය කළේය. මෙමගින් පළාත් පාලන ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් බිහි කිරීම හරහා ග්‍රාමීය සංවර්ධනය වේගවත් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














