ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන විශේෂඥ නිර්දේශ ඇතුළත් වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඊයේ (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා විසින් අදාළ වාර්තාව භාර දුන් අතර, එය “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම” යනුවෙන් නම් කර තිබේ. පසුගිය මස 20 සිට 24 දක්වා මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණ සහ ලබාගත් දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව සකස් කර ඇත.
විශේෂයෙන්ම ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” නිරීක්ෂණය කළ නියෝජිත පිරිස, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ වැදගත් නිර්දේශ රාශියක් මෙයට ඇතුළත් කර තිබේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














