ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊයේ (06) දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා වෙත භාර දී ඇති බව වාර්තා වේ. මාලිමා රජයක් පවතින පසුබිමක නගර සභා මට්ටමින් මෙවැනි ඉල්ලා අස්වීමක් සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇත.
තමන් මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කර ඇත්තේ කුරුණෑගල මහ නගර සභාව තුළ පවතින අවිධිමත් පාලන රටාවයි. විශේෂයෙන්ම නගර සභාවේ සිදුවන වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට පවතින පාලන යාන්ත්‍රණය අපොහොසත් වීම නිසා තවදුරටත් එහි රැඳී සිටීම ඵලක් නොමැති බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මෙම ඉල්ලා අස්වීම ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලියට මෙන්ම කුරුණෑගල නගර සභාවේ ඉදිරි කටයුතු කෙරෙහි ද බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ පවසති. දූෂණයට එරෙහිව හඬ නගන පක්ෂයක් ලෙස මාලිමාවේම මන්ත්‍රීවරයෙකු මෙවැනි චෝදනා නගමින් ඉල්ලා අස්වීම පිළිබඳව පක්ෂයේ ඉහළ මට්ටමේ අවධානය යොමුවනු ඇතැයි ද බලාපොරොත්තු වේ.














